2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 4 (2) (අ) සහ 4 (2) (ආ) වගන්ති යටතේ පරිසීමිත වෙළෙන්දකු ලෙස මුදල් හුවමාරු කිරීමේ අවසරපත්‍රයක් ලබා ගැනීම

1. සීමිත සමාගමක් ලෙස සංස්ථාපිත සමාගම්

(බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, ලියාපදිංචි මූල්‍ය සමාගම්/ විශේෂිත කල්බදු සමාගම් සහ හෝටල් හැර)

A.නිර්ණායක

1. අවම ප්‍රාග්ධනය :

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සීමිත පුද්ගලික සමාගමක් විසින් මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන යායුතු අතර සමාගමට රුපියල් මිලියන 15 කට නොඅඩු ප්‍රකාශිත ප්‍රාග්ධනයක් ඒ සඳහා තිබිය යුතුය. සමාගමට ශාඛා විවෘත කල හැකි අතර,අතිරේක ප්‍රාග්ධන අවශ්‍යතාවයකින් තොරව ශාඛා 2ක් ආරම්භ කළහැක. ඉන් එක් ශාඛාවක් බස්නාහිර පළාතින් පිටත ආරම්භ කළයුතු අතර ශාඛා දෙකකට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කරන්නේ නම් එක් එක් ශාඛාවක් සඳහා රුපියල් මිලියන 5 බැගින් වන අමතර ප්‍රාග්ධනයකට යටත්ව අවසර ලබාගත හැක.

2. අධ්‍යක්ෂවරුන්, මූලික කොටස් හිමියන්, අවසන් අර්ථලාභී අයිතිකරුවන් සහ කාර්ය මණ්ඩලය :

  1. අධ්‍යක්ෂවරුන්, මූලික කොටස් හිමියන්, අවසන් අර්ථලාභී අයිතිකරුවන් සහ කාර්ය මණ්ඩලය මුදල් හුවමාරු කිරීමේ කටයුත්තෙහි  නිරතවීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්වලින්, ව්‍යාපාරික පළපුරුද්දෙන් සහ හුවමාරු  ගනුදෙනුවලට සම්බන්ධ අතීත වාර්තා වලින්   යෝග්‍ය පුද්ගලයෙකු විය යුතුය.

  2. සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ආදායම් බදු ගෙවන්නන් විය යුතු අතර වාර්ෂිකව අවම වශයෙන් රු. 60,000 කට නොඅඩු බදු ගෙවීමක් කර තිබිය යුතුය. (අයදුම්පත සමග මෑත අවුරුද්දේ එසේ ගෙවන ලද බදු මුදල්වලට අදාල ලිඛිත සාධක ඉදිරිපත් කළයුතු වේ.)  සමාගමේ අධ්‍යක්ෂවරුන් උපයන විට ගෙවීමේ බදු (PAYE TAX) ගෙවන්නේ නම්, එය ආදායම් බදු ලෙස සැලකිය හැකිය.

3. වාර්ෂික පිරිවැටුම :

කාල පරිච්ඡේදය

(ලිත් වර්ෂ පදනමක් මත)

එක් ශාඛාවක් සඳහා අවම වාර්ෂික පිරිවැටුම් අවශ්‍යතාවය (ඇ.එ.ජ. ඩොලර්)

මිලදී ගැනීම සඳහා

විකිණීම සඳහා *

පළමු අවුරුදු දෙක සඳහා (පළමු අවුරුද්ද අනුපාතානුකූල පදනම මත සළකයි)

1,000,000

3,000,000

3 වන සහ 4 වන අවුරුදු සඳහා

1,500,000

4,000,000

5 වන අවුරුද්දේ සිට ඉදිරියට

2,000,000

7,000,000

*එක් ගණුදෙනුවක උපරිම සීමාව එ.ජ.ඩොලර් 5,000 කට සීමා වේ.

යම් සමාගමකට අදාල පිරිවැටුම් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත්, පවතින මුදල් හුවමාරු කිරීමේ අවසර පත්‍රයේ වලංගු කාලය අවසානයේදී ඉදිරි අවුරුද්ද සඳහා මුදල් හුවමාරු කිරීමේ අවසර පත්‍රයක් ලබා ගැනීමට එම සමාගම සුදුසුකම් නොලබයි.

4. ව්‍යාපාරය:

විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සමාගමේ ප්‍රාථමික අරමුණක් විය යුතුය.

5.ව්‍යාපාරික ස්ථානය

ව්‍යාපාරික ස්ථානය, මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සුදුසු වියයුතුය.  විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයට අදාල සියළු කටයුතු එම ව්‍යාපාරික කටයුත්ත සඳහාම පමණක් යොදා ගන්නා වෙන් කරන ලද කවුළුවක් තුළ වෙනම පවත්වාගෙන යා යුතු අතර එය ව්‍යාපාරික ස්ථානයේ අනෙකුත් ව්‍යාපාරික කටයුතු වලින් භෞතික වශයෙන් ද වෙන්ව පවත්වාගෙන යායුතුය.  මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුත්ත, ව්‍යාපාරික ස්ථානයේ අනෙක් ව්‍යාපාරයන් සමග ඒකාබද්ධ නොකළ යුතුය.

6.බැංකු ගිණුම්

විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුතුවලින් මිලදී ගත් විදේශ මුදල්, වැඩ කරන දින පහක් ඇතුළත බැංකුවක තැන්පත් කිරීම සඳහා වෙනම බැංකු ගිණුමක් බලපත්‍රලාභී වානිජ බැංකුවක විවෘත කළයුතුය.

7.ස්වයංක්‍රියකරණය/පරිගණකකරණය

ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා සුදුසු මෙහෙයුම් මෘදුකාංග ස්ථාපනය කිරීම මගින් ස්වයංක්‍රීයකරණය කරන ලද පද්ධතියක් ක්‍රියාත්මක කිරීම කළයුතු අතර, එයට ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරන බිල්පත් මුද්‍රණය කිරීම, දෛනික ගෙවුම් තුලන ප්‍රකාශනයන් සහ මිලදී ගැනීමේ ලේඛනය පවත්වාගෙන යාම සහ ගනුදෙනු සහ තැන්පතුවලට අදාල මාසික ප්‍රකාශනයක් පිළියෙල කිරීම ද ඇතුලත් විය යුතුය.

අනෙකුත් අවශ්‍යතාවයන්/නියමයන් සහ කොන්දේසි

  1.  විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් මුදල් හුවමාරු කිරීමේ කටයුතු ඇමුණුමේ අප විසින් ලබා දී ඇති විස්තරයන්ට අනුව ස්ථාපනය කර ඇති CCTV ආරක්ෂණ කැමරා පද්ධතියක් හරහා නිරීක්ෂණය කරනු ලබයි. 
  2. CCTV ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීම සහ ස්වයංක්‍රියකරණය/පරිගණකකරණය කිරීම සඳහා යන පිරිවැය ආවරණය කිරීම සඳහා සමාගමේ රු. මිලයන 15ක් වන ප්‍රකාශිත ප්‍රාග්ධනය යොදාගත හැකිය.
  3.  මුදල් හුවමාරු කිරීමේ අවසර පත්‍රය ලබා දීමට පෙර අවශ්‍ය පරිදි CCTV ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීම සහ පරිගණකකරණය නිසි පරිදි කර තිබේ ද යන්න පරීක්ෂා කරනු ලැබේ.
  4. ඉහත සඳහන් කොන්දේසි සහ නියමයන්ට අමතරව අවශ්‍ය නම් තවත් කොන්දේසි සහ නියමයන් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අයිතියක් ඇත. 

B.ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන ලියකියවිලි

  1. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත නිවැරදි ලෙස පිළිගන්නේ නම් සමාගම විසින් ඉහත සඳහන් නිර්ණායකයන්ට තම එකඟතාවය දක්වන ප්‍රකාශනයක් අන්තර්ගත වන ලිපියක්.
  2. සමාගම ගනුදෙනු සිදුකරන බැංකුකරු/බැංකුකරුවන්ගෙන් එම සමාගම බැංකුව සමග පවත්වාගෙනයන යන සම්බන්ධතාවය කෙබඳුද යන්න පිලිබඳව සහ බැංකුව සමඟ පවත්වාගෙන යන ගිනුම්වල තත්වයන් පිලිබඳ බැංකුකරු/බැංකුකරුවන්ගෙන් අදහස් දැක්වෙන  ලිපියක් අධ්‍යක්ෂ / විදේශ විනිමය දෙපාර්තමේන්තුව නමින් එවිය යුතුයි. සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලුම බැංකු ගිනුම් පිලිබඳව සම්පූර්ණ විස්තරයක් සහ පසුගිය මස අවසානය වන විට එම ගිනුම්වල ශේෂය පිලිබඳ සහතිකයක්ද මේ සමඟ එවිය යුතුය. (සමාගම නමින් වාණිජ බැංකුවක/බැංකුවල ගිනුම් පවත්වාගෙන නොයන්නේනම් ඉහත විස්තර සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධව ඉදිරිපත් කල යුතුයි)
  3.  මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරය ඇරඹීමට යෝජිත ස්ථානය/යන්හි පිහිටීම පිළිබඳව විස්තරාත්මක විස්තරයක්.
  4. සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ, මූලික කොටස් හිමියන්ගේ, අවසන් අර්ථලාභී අයිතිකරුවන්ගේ සහ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරත කිරීමට අදහස් කරන සේවකයන්ගේ අධ්‍යාපනික, වෘත්තීමය සහ  ව්‍යාපාරික පසුබිම පිළිබඳ විස්තරාත්මක තොරතුරු.
  5. සමාගමේ වත්කම් (චංචල සහ නිශ්චල) සහ වගකීම් පිළිබඳව එම වත්කම් සහ වටිනාකම්වල වටිනාකම් ද ඇතුලත්ව සම්පූර්ණ විස්තරයක්. (අළුතින් ස්ථාපනය කරන ලද සමාගම් සඳහා පමණක් අදාළ වේ)
  6. පසුගිය වර්ෂ තුන සඳහා වන සමාගමේ විගණනය කරන ලද ගිණුම්/මූල්‍ය ප්‍රකාශන (අළුතින් ස්ථාපනය කරන ලද සමාගම් සඳහා අදාළ නොවේ)
  7. අවම වශයෙන් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් ආදායම් බදු ගෙවන ලද බව දැක්වෙන නවතම වාර්තාවක්
  8. සමාගම සංස්ථාපනය කිරීම සඳහා අදාල ලියකියවිලිවල සහතික කරන ලද පිටපත් [සමාගම සංස්ථාපනය කරන ලද බව දැක්වෙන සහතිකය, පෝරම 1, පෝරම 6, සමාගම් ව්‍යවස්ථාව, පෝරම 20 (අදාළ නම් පමණි), පෝරම 13 (අදාළ නම් පමණි)යනාදිය. ]
  9. සමාගමේ ලේකම් විසින් සමාගමේ කොටස් හිමිකාරිත්වය සම්බන්ධ ව්‍යුහයක් ද ඇතුලත්ව සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සම්බන්ධව ලබාදෙන තහවුරුවක්,
  10. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරතවීම, සමාගමේ ප්‍රාථමික අරමුණක් බව දක්වන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහතික කරන ලද යෝජනා සම්මුතියක් සහ එයට අදාල පෝරම 39 (අදාළ නම් පමණි).
  11. සමාගමේ ස්වංක්‍රීය පද්ධතිය පිළිබඳ විස්තර
  12. අවම වශයෙන් පළමු වසර තුනක කාලයක් සඳහා ඉලක්ක ගත පිරිවැටුම ආවරණය කර ගැනීමේ ව්‍යාපාරික ඉදිරි දැක්ම ඇතුළත් ලියවිල්ලක් (බැංකුවේ තැන්පත් කිරීමට බලාපොරොත්තු වන විදේශ මුදල් ප්‍රමාණය)

2බලපත්‍රලාභී මූල්‍ය සමාගම් /විශේෂිත කල්බදු ආයතන

නිර්ණායක

  1. 1.   ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් වීම : බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු ආයතනයන් පිලිවෙළින් 2011 අංක 42 දරණ ව්‍යාපාර මූල්‍ය පනත (මෙය 1988 අංක 78 දරණ මූල්‍ය සමාගම් පනත ලෙස මීට ඉහතදී භාවිතා විය.) සහ 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා පදිංචි විය යුතුය.
  • ඉහත සඳහන් කොන්දේසි සහ නියමයන්ට අමතරව අවශ්‍ය නම් තවත් කොන්දේසි සහ නියමයන් පැනවීමට ඇති අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.

ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන ලියකියවිලි

  1. අවසන් වසර 3 සඳහා සමාගමේ මූල්‍ය වාර්තා
  2. වාර්ෂික බලපත්‍ර ගාස්තු ගෙවූ බවට නිකුත් කරන ලද ලදුපතෙහි පිටපතක්
  3. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරතවීම, සමාගමේ ප්‍රාථමික අරමුණක් බව දක්වන අධ්‍යක්ෂක මණ්ඩලයේ සහතික කරන ලද යෝජනා සම්මුතියක්
  4. ශාඛා කේතයන් (අංක තුනකින් සමන්විත වන ) සහ ලිපිනයන් ද සමග සමාගමේ දැනට පවතින ශාඛා නාමාවලිය
    1. විදේශ මුදල් වර්ග සමග සමාගම විසින් විදේශ මුදල් ගිණුම/ ගිණුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බැංකු කරුගේ විස්තර

 

3.හෝටල්

නිර්ණායක

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග ලියාපදිංචි වීම

  1. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ, සංචාරක හෝටලයක් ලෙස ලියාපදිංචි වූ සීමිත සමාගමක් විය යුතුය.

අනෙකුත් අවශ්‍යතාවයන්

  1. සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය අවම වශයෙන් රු. මිලියන 10ක් විය යුතුය.
  2. ව්‍යාපාරික ස්ථානය, මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සුදුසු විය යුතුය. විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයට අදාල සියළු කටයුතු එම ව්‍යාපාරික කටයුත්ත සඳහාම පමණක් යොදා ගන්නා වෙන් කරන ලද කවුළුවක් තුල වෙනම පවත්වාගෙන යා යුතු අතර එය ව්‍යාපාරික ස්ථානයේ අනෙකුත් ව්‍යාපාරික කටයුතු වලින් භෞතික වශයෙන් ද වෙන්ව පවත්වා ගෙන යා යුතුය. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුත්ත, ව්‍යාපාරික ස්ථානයේ අනෙක් ව්‍යාපාරයන් සමග ඒකාබද්ධ නොකළ යුතුය.
  3. ඉහත සඳහන් කොන්දේසි සහ නියමයන්ට අමතරව අවශ්‍ය නම් තවත් කොන්දේසි සහ නියමයන් පැනවීමට ඇති අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.

ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන ලියකියවිලි

  1. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත නිවැරදි ලෙස පිළිගන්නේ නම් සමාගම විසින් ඉහත සඳහන් නිර්ණායකයන්ට තම එකඟතාවය දක්වන ප්‍රකාශයක් අන්තර්ගත වන ලිපියක්
  2. සමාගම ගනුදෙනු සිදුකරන බැංකුකරු/බැංකුකරුවන්ගෙන් එම සමාගම බැංකුව සමග පවත්වාගෙනයන යන සම්බන්ධතාවය කෙබඳුද යන්න පිලිබඳව සහ බැංකුව සමඟ පවත්වාගෙන යන ගිනුම්වල තත්වයන් පිලිබඳ බැංකුකරු/බැංකුකරුවන්ගෙන් අදහස් දැක්වෙන  ලිපියක් අධ්‍යක්ෂ / විදේශ විනිමය දෙපාර්තමේන්තුව නමින් එවිය යුතුයි. සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලුම බැංකු ගිනුම් පිලිබඳව සම්පූර්ණ විස්තරයක් සහ පසුගිය මස අවසානය වන විට එම ගිනුම්වල ශේෂය පිලිබඳ සහතිකයක්ද මේ සමඟ එවිය යුතුය. (සමාගම නමින් වාණිජ බැංකුවක/බැංකුවල ගිනුම් පවත්වාගෙන නොයන්නේනම් ඉහත විස්තර සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධව ඉදිරිපත් කල යුතුයි)
  3. අදාල හෝටලය විසින් විදේශ මුදල් තැම්පත් කිරීමට බලාපොරොත්තු වන සියළුම බැංකු ගිණුම් පිළිබඳ විස්තරයක් (හෝටලය මගින් මිලදී ගන්නා සියළුම විදේශ මුදල් ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට (BFCA) තැම්පත් කිරීම හෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට විකිණීම කල යුතුය.) සහ පසුගිය මස අවසානය වන විට එම ගිණුම්වල ශේෂය පිළිබඳ බැංකු කරුගෙන් ලබාගන්නා ලද සහතිකයක්
  4. පසුගිය වර්ෂ තුන සඳහා සමාගම විසින් ගෙවන ලද ආදායම් බදු පිළිබඳ විස්තරයක්
  5. විදේශ මුදල් ව්‍යාපාරය සිදුකිරීමට යෝජිත ස්ථානය/යන්හි පිහිටීම පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් 
  6. සමාගම  සංස්ථාපනය කරන ලද බව දැක්වෙන සහතිකය  සහ සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියෙහි  සහතික කරන ලද පිටපත්
  7. 2007 අංක 07 දරන ව්‍යාපාර පනත ප්‍රකාරව පෝරම 1, පෝරම 15  සහ පෝරම 20 (අදාල වේ නම්), පෝරම 13 (අදාල වේ නම්)..යනාදියේ  සහතික කරන ලද පිටපත්
  8. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද බලපත්‍රයේ සහ ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කරන ලද පිටපත්
  9. සමාගමේ ලේකම් විසින් සමාගමේ කොටස් හිමිකාරිත්වය සම්බන්ධ ව්‍යූහයක් ද සහිතව සමාගමේ ප්‍රකාශිත ප්‍රග්ධනය සම්බන්ධව දෙනු ලබන තහවුරුවක්   
  10. පසුගිය වර්ෂ 3 සඳහා වන සමාගමේ විගණනය කරන ලද ගිණුම්/මූල්‍ය ප්‍රකාශන